වහල සෙවිළි කල පොල් අතු - ස්වර්ණලතා කවීෂ්වර | Wahala sewili kala pol athu - Swarnalatha Kaveeshwara


වහල සෙවිළි කල පොල් අතු ගසකිනි ගත්තේ
අහරට බත වී කරළක සැඟවී ඇත්තේ
පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
ගිමනට සිහිලැල් සෙවණද ගස යට ඇත්තේ

පාළුව මැකුණේ නිරතුරු කුරුළු ගීයටයි
සාමය සම්පත රැඳුණේ කුරුළු කූඩුවෙයි
සුළං රැළින් හදට හුස්ම පොද පොද සැපයෙයි
එයින්ම ජීවත්වන්නෝ ඒ ගැන නොසිතයි

වහල සෙවිළි කල පොල් අතු ගසකිනි ගත්තේ...

මැවූ කෙනෙකු මැවූ තැනක් කිසිවෙකු නොදනී
සැදූ ගසක් කපා දමා මිනිසෙකු හිනැහෙයි
මිනිස් පයට පෑගීලා තණපත් මිය යයි
හෙටත් අළුත් දළු ලියලයි සොබා දම එයයි

වහල සෙවිළි කල පොල් අතු ගසකිනි ගත්තේ...


ගායනය, සංගීතය - ස්වර්ණලතා කවීෂ්වර
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්


Comments